Legal Resources & Insights
Legal Updates & Commentaries
Read our latest commentaries on emerging legal trends, court decisions, and regulatory updates designed to keep you informed.
අපරාධ අධිකරණවල නිතර භාවිත වන ව්‍යාවහාරික යෙදුම්
(Frequently used terminologies in Criminal Courts)
- මෝසම (Motion) – මෝසමක් යනු ගරු අධිකරණයකට යම් නඩුවක පාර්ශවයක් විසින් සිදු කරනු ලබන විධිමත් ලිඛිත ඉල්ලීමකි. අලුතින් නඩුවක් භාරගන්නා ලෙසට හෝ (හදිසි හෝ විශේෂිත ඉල්ලීමක් කිරීමට හෝ වරෙන්තුවක් නැවත කැඳවීම සඳහා ඉල්ලීමක් කිරීමට) නඩුව නියමිත දිනට පෙර විවෘත අධිකරණයේ කැඳවා ගැනීම සඳහා හෝ නඩු ලේඛන වල සහතික පිටපත් ලබා ගැනීම වැනි කාර්යයන් සඳහා මෝසම් පත්‍ර භාවිතා කෙරේ.
- CO – CO යනුවෙන් හඳුන්වනු ලබන්නේ Court Officer නැතහොත් අධිකරණ නිලධාරියා යන්නයි. අනූයුක්ත කර ඇති අධිකරණයේ විනිසුරුවරයාගේ ආරක්ෂාව සහ අධිකරණ ශාලාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ විනය පවත්වාගෙන යාම මෙම නිලධාරියාගේ කාර්යය භාරය වේ.
- කෝට් සාජන් (Court Sergeant) – සාමාන්‍ය ව්‍යාවහාරයේ දී කෝට් සාජන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ යම් පොලිස් ස්ථානයක අධිකරණ කටයුතු මෙහෙයවීම සඳහා පත් කර ඇති නිලධාරියා වේ. නමුත් මෙවැනි නීත්‍යානුකූල තනතුරක් නොමැති අතර එය හුදෙක් සාමාන්‍ය ව්‍යාවහාරයේ භාවිත වන වදනකි.
- පොලිස් දින (Police Dates) – යම් මහේස්ත්‍රාත් අධිකරණයකට එම අධිකරණයේ ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුල පිහිටි පොලිස් ස්ථාන කිහිපයක් කරුණු වාර්තා කරනු ලබයි. මේ හේතුවෙන් සතියක් තුල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු මෙහෙයවීම සඳහා එකී පොලිස් ස්ථාන සඳහා නිශ්චිත දින ලබාදී ඇත. උදාහරණයක් ලෙස X යන පොලිස් ස්ථානයට නඩු මෙහෙයවීම සඳහා ලබා දී ඇති දිනය බදාදා දින නම් X යන පොලිස් ස්ථානයේ පොලිස් දිනය වන්නේ බදාදා දිනය වේ.
- සහතික පිටපත් (Certified Copies) – අධිකරණයේ පවතින නඩුවක ලේඛන වල පිටපත් ලබා ගැනීමට එකී නඩුවේ පාර්ශවයන්ට (යම් නෛතික සීමාවන්ට යටත්ව ) අයිතිවාසිකමක් ඇත.මෝසම් පත්‍රයක් මාර්ගයෙන් ඉල්ලීමක් කළ පසු අධිකරණයේ නියෝග මත අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් නිළ මුද්‍රාව තබා ලබා දෙන ලේඛණ සහතික පිටපත් ලෙස හඳුන්වනු ලැබේ. එලෙස නිකුත් කරන සහතික පිටපත් ශ්‍රීලංකාවේ ඕනෑම නෛතික කටයුත්තට වලංගු වේ.
- තාවකාලික රියදුරු බලපත්‍රය (Temporary Driving License) – යම් රථවාහන අනතුරක් හෝ මාර්ග නීති උල්ලංඝනය සිදු කිරීමක් සිදුවූ විට එය විමර්ශනය සිදු කරන පොලිස් නිළධාරයා විසින් එම අනතුරට හෝ උල්ලංඝනය කිරීමට වගකිව යුතු බවට සැක කෙරෙන රියදුරුවරයාගේ රියදුරු බලපත්‍රය එකී පොලීස් නිළධාරියා විසින් තම භාරයට ගෙන එම රියදුරුවරයාට (බොහෝ විට) අධිකරණයට කරුණු වාරථා කරන දිනය දක්වා වලංගු වන තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. මෙම තාවකාලික රියදුරු බලපත්‍රය දීරඝ කර ගැනීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළ යුතු අතර වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීමෙන් අනතුරුව එම වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල මත තාවකාලික රියදුරු බලපත්‍රය දීර්ඝ කිරීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයා සතු වේ.
- රිමාන්ඩ් බන්ධනාගාරය (Remand) – රිමාන්ඩ් බන්ධනාගාරය යනු අධිකරණයක් මගින් වරදකරුවන් නොකෙරූ සැකකරුවන් හා විත්තිකරුවන් රඳවා තබා ගන්නා ස්ථානය වේ.විමර්ශන අවධියේදී චෝදනා පත්‍රයක් ගොනු කරන තුරු අත් අඩංගුවට ගත් තැනැත්තා සැකකරු ලෙස හඳුන්වනු ලබන අතර චෝදනා පත්‍රයක් (මහාධිකරණයක නම් අධිචෝදනා පත්‍රයක්) ගොනු කර නඩු විභාගය ආරම්භ කෙරූ පසු ඒ තැනැත්තා විත්තිකරු ලෙසද නඩු විභාගය අවසානයේදී වරදකරුවකු වුවහොත් පමණක් වරදකරු ලෙස හඳුන්වයි. ව්යාවස්ථානුකූලව යම් සැකකරුවෙකුට දඬුවම් ලබා දීමේ අරමුණින් රිමාන්ඩ් ගත කළ නොහැක. ව්යාවස්ථානුකූලව යම් සැකකරුවෙකුට දඬුවම් ලබා දීමේ අරමුණින් රිමාන්ඩ් ගත කළ නොහැක.
- බන්ධනාගාරය (Prison) – බන්ධනාගාරය යනු වරද පිලිගැනීමෙන් අනතුරුව හෝ නඩු විභාගය අවසානයේ වරදකරු කිරීමෙන් අනතුරුව දඬුවම් කිරීමක් සඳහා වරදකරුවන් වූ පුද්ගලයින් රදවා තබන ස්ථානය වේ. බන්ධනාගාරයේදී පමණක් රැඳවියන් සුදු පැහැති ඇඳුම ඇඳිය යුතු අතර ඔවුන් සුළු හෝ බරපතල වැඩ වල නිරත විය යුතුය.
- ඇප (Bail) – ඇප යනු යම් සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නියමිත දින වලදී ගරු අධිකරණයට ඉදිරිපත් කරන බවට වන නෛතික පොරොන්දුවකි. ඇප වරග 04 ක් වේ. 1. පුද්ගලික ඇප – සැකකරුට හෝ විත්තිකරුටම තමන් වෙනුවෙන් ඇප බැදුම්කරයකට අත්සන් කළ හැක. 2.මුදල් ඇප – අධිකරණය විසින් නියම කරන නිෂ්චිත මුදලක් අධිකරණයේ තැන්පත් කළ යුතුය 3. ශරීර ඇප – අධිකරණයට පිළිගත හැකි පුද්ගලයන් සැකකරු හෝ විත්තිකරු වෙනුවෙන් ඇප බැදුම්කර අත්සන් කළ යුතුය. 4.සහතික ඇප – අධිකරණය විසින් නියම කරන ලද මුදලට සරිලන වත්කමක් (ඔප්පුවක් වැනි) අධිකරණයේ තැන්පත් කළ යුතුය. ශරීර ඇප ඉදිරිපත් කිරීමේදී (අධිකරණය නියම කරන පරිදි) ග්‍රාම සේවා වාර්තා, පොලිස් සහතික ආදියද ඉදිරිපත් කළ යුතුය. සැකකරු හෝ විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඇප මුදල් හෝ ඇප බැදුම්කර වල සඳහන් මුදල හෝ සහතික ඇප හෝ ඉන් කොටසක් රාජසන්තක කිරීමට යටත් වේ.
- පොලිස් ඇප (Police Bail) – වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි වරදවල් සඳහා සිදු කරන අත් අඩංගුවට ගැනීම් වලදී නියම කරන දිනයේදී අධිකරණයේ හෝ නැවත පොලිස්ථානයේ පෙනී සිටීම සදහා පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඉදිර්යේ බැදුම්කරයකට අත්සන් කිරීම පොලිස් ඇප ලෙස හැඳින්වේ. මෙහිදී අත් අඩංගුවට පත් තැනැත්තාට පොලිස් ඇප ලබා ගැනීම සඳහා අයිතිවාසිකමක් නැති අතර පොලිස් ඇප ලබා දීම ස්ථානාධිපතිතුමාගේ අභිමතය මත සිදු වේ. සුළු වැරදි සඳහා පමණක් පොලිස් ඇප ලබා දීම ප්‍රායෝගිකව සිදු කෙරේ.
- ලඝු නොවන විමසීම (Non Summery Inquiry) – මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම, ස්ත්‍රී දූෂණය හා රාජ්‍ය විරෝධී වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට එරෙහිව මහාධිකරණයෙහි අධිචෝදනා ගොනු කර නඩු විභාගයක් ආරම්භ කිරීමට ප්‍රථම එකී චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට තරම් සාක්ෂි තිබේදැයි තහවුරුකර ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේදී පවත්වන විමසීම ලඝු නොවන විමසීම ලෙස හැඳින්වේ.
- අත් හිටුවීමේ සිර දඬුවම් (Suspended Sentence) – මෙයින් අදහස් කරන්නේ වරදකරු වූ තැනැත්තෙකු හට දඬුවමක් ලෙස සක්‍රීය බන්ධනාගාර සිර දඩුවමක් පනවා (උපරිම කාල සීමාව අවු. 02 පමණි) එය ක්‍රියාත්මක නොවන සේ අවුරුදු 05 කට නොඅඩු කාලයකට අත් හිටුවීමයි. මෙහිදී වරදකරු වූ තැනැත්තාට බන්ධනාගාර ගත වීමට අවශ්‍ය නොවේ. නමුත් අත් හිටවූ කාල සීමාව තුළ වෙනත් වරදකට වරදකරු වුවහොත් අත් හිටුවන ලද සක්‍රීය සිර දඬුවම ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙසට යම් තැනැත්තෙකුට අවුරුදු 02ක සිර දඬුවමක් පනවා එය අවුරුදු 05 කට අත්හිටුවීමක් සිදු කළ හොත් ඔහු බන්ධනාගාරගත වීමක් සිදු නොවන නමුත් අවුරුදු 05 ඇතුළත ඔහු වෙනත් වරදකට වරදකරු වුවහොත් පෙර කී අවුරුදු 02 ක සිර දඩුවම (හෝ අධිකරණයේ අභිමතය පරිදි ඉන් කොටසක්) ක්‍රියාත්මක වේ. මෙය සාමාන්‍ය ව්‍යාවහාරයේදී ඇඟ බැඳීම ලෙසද හැඳින්වේ.
- නීතිපති උපදෙස් (AG Instructions) – ගරු නීතිපතිවරයා රජයේ ප්‍රධාන නීති නිළධාරියා වේ. වැදගත් වන්නාවූ නැතහොත් දුෂ්කරතාවයකින් යුක්ත වූ යම් සාපරාධී කාරණයකදී රජයේ දෙපාර්ථමේන්තුවලට, රාජ්‍ය නිලධාරීන්ට, පොලිස් නිලධාරීන්ට සහ සංස්ථා නිළධාරීන්ට උපදෙස් ලබා දීමේ බලය නීතිපතිවරයා සතුව පවතී. ඒ අනුව පොලිස් නිළධාරීන්ට වැදගත් වන්නාවූ නැතහොත් දුෂ්කරතාවයකින් යුක්ත වූ යම් සාපරාධී විමර්ශනවලදී නීතිපතිතුමන්ගේ උපදෙස් පැතිය හැකි අතර මහාධිකරණයේ අධිචෝදනාපත් ගොනු කළ යුතු නඩුකර වලදී නීතිපති උපදෙස් පැතිය යුතුමය.
- මරණ පරීක්ෂණය (Inquest) – යම් තැනැත්තකු —(අ) සිය දිවි නසා ගෙන ඇති බවට ; හෝ (ආ) යම් සතකු විසින් මරණයට පත් කරනු ලැබ ඇති බවට හෝ යම් යන්ත්‍රෝපකරණයක් නිසා නැතහොත් යම් අනතුරක් නිසා මරණයට පත් වී ඇති බවට ; හෝ හදිසියේ හෝ නොදන්නා හේතුවකින් හෝ මිය ගොස් ඇති බවට තොරතුරක් ලැබුණු විට, මරණ පරීක්ෂකවරයකු හෝ මහේස්ත්රාත්වරයෙකු, එසේ මිය ගිය තැනැත්තාගේ සිරුර තිබෙන ස්ථානයට වහාම ගොස්, එහි දී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර සිරුරේ දක්නට ඇති තුවාල, කැඩුම් බිදුම්, සීරීම් සහ වෙනත් තුවාල ලකුණු ද තමාගේ මතය අනුව මරණයට හේතුව හා සම්බන්ධ විය හැකි ලකුණු, ද්‍රව්‍ය සහ පරිවේෂණ ද විස්තර කරමින් සහ පෙනී යන අන්දමට ඒ ලකුණු ඇති වී තිබෙන්නේ කවර ආකාරයකින් ද යන වග සඳහන් කරමින්, මරණය පිළිබඳ දෘෂ්‍යමාන හේතුව දැක්වෙන වාර්තාවක් සකස් කිරීම මරණ පරීක්ෂණය ලෙස හැදින්වේ. අපරාධයක් සිදු කර ඇති බවට සාධාරණ සැකයක් ඒ වාර්තාවෙන් හෝ තමා ඉදිරියේ ඇති වෙනත් කරුණු වලින් හෝ මහේස්ත්‍රාත්වරයා තුළ ඇති වුවහොත් මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරි පියවර ගත යුතු ය.
- B වාර්තාව (B Report) – යම් විමර්ශනයක් පැය 24 ක කාලය තුළදී අවසාන කළ නොහැකි සහ වැඩි දුරටත් විමර්ශනය කිරීම අවශ්‍ය බවට විශ්වාස කිරීමට හේතූන් ඇති අවස්ථාවන් වලදී සැකකරු සහ විමරශනයේදී අණාවරණය වූ කරුණු සමගින් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්‍රාත් අධිකර්ණයට ඉදිරිපත් කරන ප්‍රථම වාර්ථාව
- සිතාසිය (Summons) – සිතාසිය යනු අධිකරණයට පැමිණෙන ලෙස අධිකරණයක් විසින් සිදු කරන ලබන විධිමත් ලිඛිත නියෝගයකි. අපරාධ අධිකරණයක සාමාන්‍යයෙන් සිතාසියක් පිස්කල් නිළධාරියෙකු විසින් භාර දිය යුතුය. නමුත් නඩු කටයුතු පොලිස් නිලධාරියෙකු විසින් පවරා තිබෙන අවස්ථාවක හෝ නඩුව මහාධිකරණයේ තිබෙන අවස්ථාවක සිතාසි පොලිස් නිලධාරියෙකු විසින් භාරදිය යුතුය. අවස්තානුගත තත්ත්වයන් මත සිතාසි ග්‍රාම සේවක හරහා හෝ ලියාපදිංචි තැපෑලෙන් භාර දිය හැකිය. සිතාසියක් භාරගෙන අධිකරණයට නොපැමිනීම වරෙන්තුවක් නිකුත් කිරීමට හේතු වේ.
- වරෙන්තුව (Warrant) – වරෙන්තුවක් යනු යම් තැනැත්තෙකු සිරභාරයට ගැනීම සඳහා අධිකරණයක් විසින් දෘශ්යාමාන හේතු මත නිකුත් කරන ලිඛිත ලියවිල්ලකි. එලෙස නිකුත් කරන සෑම වරෙන්තුවක්ම එය නිකුත් කරනු ලැබූ අධිකරණය විසින් අවලංගු කරනතුරු හෝ එය ක්රියාවේ යොදවනු ලබන තුරු බලාත්මකව පවතී. වරෙන්තුවක් ලංකාවේ ඕනෑම ස්ථානයක ක්‍රියාත්මක කිරීමට හැකි අතර වරෙන්තුවක් ක්‍රියාත්මක කළ පසු අත් අඩංගුවට ගත් තැනැත්තාව වරෙන්තුව නිකුත් කළ අධිකරණයට හෝ එය ප්‍රායෝගික නොවේ නම් ලගම ඇති මහේස්ත්‍රාත් අධිකරණයට නොපමාව ඉදිර්පත් කළ යුතුය.
- නොතීසිය (Notice) – නොතීසියක් යනු අධිකරණයට පැමිණෙන ලෙස අධිකරණයක් විසින් සිදු කරන ලිඛිත ආරාධනයකි. නොතීසියට අවනත නොවීම මත වරෙන්තුවක් නිකුත් නොකෙරේ. නොතීසියක් ලද තැනැත්තෙකු අධිකරණයට නොපැමිනිය හොත් එම තැනැත්තාගේ නොපැමිණීම නොසලකා අධිකරණයෙහි පෙනී සිටින පාර්ශවයන්ගේ ඉල්ලීම් මත නඩුවේ ඉදිරි කටයුතු කරගෙන යනු ලැබේ.
- 54 – සාමාන්‍ය ව්‍යාවහාරයේ 54න් නඩු දැමීම යනුවෙන් අදහස් කරන්නේ විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ 54අ වගන්තිය උල්ලංඝනය කරමින් (එකී වගන්තියෙහි සඳහන් මත්ද්‍රව්‍ය) සන්තකයේ තබා ගැනීම හෝ ජාවාරම් කිරීමට එරෙහිව නඩු පැවරීමයි. මෙවන් අවස්ථාවන්හිදී ඇප ලබා ගැනීමට එකී මත්ද්‍රව්‍ය ප්‍රමාණය රජයේ රස පරීක්ෂක වෙත යවා රස පරීක්ෂක වාර්ථාව මහේස්ත්‍රාත් අධිකරණයට ලැබෙන තෙක් සැකකරුට රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවේ. රස පරීක්ෂක වාර්ථාවට අනුව මත්ද්රව්යහි ශුද්ධ බර ග්‍රෑම් 10 ට අඩු වන අවස්ථාවේදී ඇප ලබා ගැනීමට පළාත්බද මහාධිකරණයට ඇප අයදුම්පතක් යොමු කළ යුතු අතර ශුද්ධ බර ග්‍රෑම් 10 ට වැඩි වන අවස්ථාවන්හිදී ඇප ලබා දීමේ අධිකරණ බලය ඇත්තේ කොළඔ පිහිටි අභියාචනාධිකරණයට වේ. අභියාචනාධිකරණය ඇප ලබා දෙනු ලබන්නේ සුවිශේෂී කරුණු ඇත්නම් පමණි.
- රිමාන්ඩ් දීර්ඝය (Remand extension) – වැඩිදුරටත් විමර්ශනය පවත්වනු ලබන තුරු සැකකරු අත් අඩංගුවේ රඳවා තබා ගැනීම අවස්ථානුකූල බවට මහේස්ත්‍රාත්වරයා සෑහීමට පත් වුවහොත්, ඔහු විසින්, ස්වකීය හේතු සටහන් කිරීමෙන් පසු, දවස් පහළොවක් වූ සම්පූර්ණ කාලයක් සඳහා, එහෙත් දින ගණන ඊට වැඩි නොවන පරිදි, සැකකරු රඳවා තබා ගැනීමට යම් රිමාන්ඩ් බන්ධනාගාරයක අධිකාරිවරයා නියෝගයක් කළ හැකිය. එකී දින පහළොවක් වූ කාලය අවසානයේ දී, නඩු පවරනු නොලැබුවහොත් සහ මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු නිදහස් නොකෙරුවහොත් එම සැකකරුගේ රිමාන්ඩ් කාලය නැවත දින 15ක් දක්වා හෝ ඊට අඩු කාලයකට දීර්ඝ කරනු ලබයි. උදාහරණයක් ලෙස විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ 54අ වගන්තිය යටතේ පවරනු ලැබූ නඩුවක රස පරීක්ෂක වාරථාව ලැබෙන තුරු නඩු පැවරීමක් සිදු කළ නොහැක. එවන් අවස්ථාවන්හිදී රස පරීක්ෂක වාරථාව ලැබෙන තුරු එම සැකකරුවන්ගේ රිමාන්ඩ් කාල සීමාව දින 15 කට වරක් දීර්ඝ කරනු ලැබේ. එය රිමාන්ඩ් දීර්ඝය ලෙස හඳුන්වනු ලැබේ.
How can we help you?
Get in touch with our chambers to arrange a consultation or to speak with us about your legal requirements