Legal Resources & Insights

Legal Updates & Commentaries

Read our latest commentaries on emerging legal trends, court decisions, and regulatory updates designed to keep you informed.

අලුත්කඩේ – ශ්‍රී ලංකාවේ නීතියේ හදවත (Hulftsdorp – Sri Lankan Heart of Law)

කොළඹ අලුත්කඩේ ප්‍රදේශය ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය හා අධිකරණ පද්ධතිය සමඟ ඉතා සමීපව බැඳී පවතින සුවිශේෂී භූමියකි. අලුත්කඩේ අධිකරණ සංකීර්ණය යනු එක් අධිකරණයකට සීමා වූ ස්ථානයක් නොව, ශ්‍රී ලංකාවේ විවිධ මට්ටම්වල අධිකරණ රැසක් එකම ප්‍රදේශයක් තුළ ස්ථානගත වී ඇති විශාල අධිකරණ පරිශ්‍රයකි. මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමේ සිට මහාධිකරණ දක්වාත්, අවසානයේ ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාත්, විවිධ අධිකරණ හා අධිකරණ ආයතන මෙහිදී නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයට දායක වේ.

කොළඹ අධිකරණ සංකීර්ණය තුළ දශක කිහිපයක් පුරා රටේ අවධානයට ලක් වූ වැදගත් හා සංකීර්ණ නඩු විභාග වී තිබේ. විශේෂයෙන්ම මහජන අවධානයට ලක්වන අපරාධ නඩු, ආර්ථික හා මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු මෙන්ම රටේ නීතිමය හා සමාජීය වශයෙන් වැදගත් කරුණු ඇතුළත් නඩු රාශියක් කොළඹ අධිකරණ ඉදිරියේ විභාගයට ගැනේ.

ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ සම්බන්ධ නඩු විභාග කිරීමේදී ද අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට විශේෂ ස්ථානයක් හිමි වේ. එවැනි නඩු සම්බන්ධයෙන් නීතියෙන් පැවරී ඇති විශේෂ අධිකරණ බලය යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

එබැවින් අලුත්කඩේ යනු විනිසුරුවරුන්, නීතිඥවරුන් සහ අධිකරණ නිලධාරීන් දෛනිකව ගැවසෙන තවත් එක් අධිකරණ පරිශ්‍රයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ විවිධ මට්ටම් එකිනෙකට සම්බන්ධ වන, නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෛනිකව දැකගත හැකි සුවිශේෂී අධිකරණ භූමියකි. මේ නිසාම නීති වෘත්තියේ නියැලෙන අය සඳහා පමණක් නොව, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට කැමති ඕනෑම අයෙකු සඳහා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, කරුණු හා නීතිය සම්බන්ධයෙන් අවසානාත්මක අභියාචනාධිකරණය වන අතර, මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩු විභාග කිරීම, පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් ව්‍යාවස්ථානුකූල බව තීරණය කිරීම, මැතිවරණ පෙත්සම් විභාග කිරීම ඇතුළු විශේෂ හා සුවිශේෂී අධිකරණ බලතල රැසක්ද එය සතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකාවේ අගවිනිසුරුතුමා කටයුතු කරයි. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කිරීම විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් සිදු කරනු ලබන අතර, තමන් ඉදිරියේ ඇති කරුණක් පොදු හා මහජන වැදගත්කමකින් යුක්ත බව අගවිනිසුරුතුමාගේ මතය නම්, එම කරුණ විභාග කිරීම සඳහා විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත විශේෂ විනිසුරු මඬුල්ලක් නම් කළ හැකිය. මහාධිකරණයේදී ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කළ නඩු සම්බන්ධයෙන් ඉදිරිපත් වන අභියාචනා විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් විභාග කළ යුතු වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඬුළු අධිකරණ ශාලා අංක 502, 401, 402, 302 සහ 201 යන අධිකරණ ශාලාවල රැස්වී නඩු විභාග කරනු ලබයි.

අභියාචනාධිකරණය

ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණය, කරුණු හා නීතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පසුව ඇති ඉහළම අභියාචනාධිකරණය වන අතර, පළාත්බද මහාධිකරණ මඟින් ලබා දෙන තීන්දු, දඬුවම් සහ නියෝග සම්බන්ධයෙන් මෙන්ම ඇතැම් විනිශ්චය සභා හා ආයතන මඟින් ලබා දෙන තීන්දු සම්බන්ධයෙන්ද සෘජු අභියාචනා විභාග කිරීමේ බලය එය සතු වේ. එමෙන්ම, පළාත්බද මහාධිකරණ විසින් තම මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරමින් ලබා දෙන නියෝග සම්බන්ධයෙන් ප්‍රතිශෝධන බලයද අභියාචනාධිකරණය සතු වේ. රිට් ආඥා සම්බන්ධයෙන් මෙන්ම විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත යටතේ ශුද්ධ මත් ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 10ක් හෝ ඊට වැඩි වන අවස්ථාවන්හි ඇප ලබාදීම සම්බන්ධයෙන්ද අභියාචනාධිකරණය සිය මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයෙන් පසු අභියාචනාධිකරණය, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිසුරුවරුන් 19 දෙනෙකුගෙන් සමන්විත වන අතර, සාමාන්‍යයෙන් නඩු විභාග කිරීම විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් සිදු කරනු ලබයි. කෙසේ වෙතත්, තමන් ඉදිරියේ ඇති කරුණක් පොදු හා මහජන වැදගත්කමකින් යුක්ත බව අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ මතය නම්, එම කරුණ විභාග කිරීම සඳහා විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත විනිසුරු මඬුල්ලක් නම් කළ හැකිය. අභියාචනාධිකරණයේ විනිසුරු මඬුළු අධිකරණ ශාලා අංක 301, 302, 205, 109, 303, 107, 110, 108, 206 සහ 204 යන අධිකරණ ශාලාවල රැස්වී නඩු විභාග කරනු ලබයි.

සිවිල් අභියාචනා මහාධිකරණය

කොළඹ පිහිටි බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය, කොළඹ  මහාධිකරණ බල ප්‍රදේශයේ  දිසා අධිකරණ විසින් ලබා දෙන තීන්දු සහ නියෝග සම්බන්ධයෙන් අභියාචනාධිකරණ බලය සහ ප්‍රතිශෝධන බලය ක්‍රියාත්මක කරයි. වර්තමානයේ කොළඹ අධිකරණ සංකීර්ණය තුළ සිවිල් අභියාචනා මහාධිකරණ දෙකක් ක්‍රියාත්මක වන අතර, එක් එක් සිවිල් අභියාචනා මහාධිකරණය විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් නඩු විභාග කරනු ලබයි.

වාණිජ මහාධිකරණ

සෑම පළාතකම පළාත් බද වාණිජ මහාධිකරණ පිහිටුවීමට යෝජනා කර තිබුණද, වර්තමානයේ පළාත් බද වාණිජ මහාධිකරණ ක්‍රියාත්මක වන්නේ කොළඹ පමණි. කොළඹ මහාධිකරණයේ කලාපීය අධිකරණ බල සීමාව තුළ පැන නගින, රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමක් සහිත අපරාධ නොවන සිවිල් හා වාණිජමය ආරවුල් විභාග කිරීම හා තීරණය කිරීමේ අධිකරණ බලය වාණිජ මහාධිකරණය සතු වේ. තවද, නඩුවේ මුදල්මය වටිනාකම හා අධිකරණ බල සීමාව නොසලකා බුද්ධිමය දේපළ පනත සහ සමාගම් පනත යටතේ ගොනු කරනු ලබන නඩු විභාග කිරීම හා තීරණය කිරීමේ සුවිශේෂී අධිකරණ බලයද වාණිජ මහාධිකරණයට හිමි වේ. වර්තමානයේ කොළඹ අධිකරණ සංකීර්ණය තුළ වාණිජ මහාධිකරණ 05ක් ක්‍රියාත්මක වන අතර, එක් එක් වාණිජ මහාධිකරණයක නඩු විභාග කරනු ලබන්නේ තනි විනිසුරුවරයෙකු විසිනි.

අපරාධ මහාධිකරණය

තාක්ෂණික වශයෙන් “කොළඹ පවත්වනු ලබන බස්නාහිර පළාත්බද මහාධිකරණය” ලෙස හැඳින්වෙන අපරාධ මහාධිකරණයට, නීතිය අනුව අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට බලය ඇති නිළධාරීන් දෙදෙනා වන්නේ නීතිපතිතුමා සහ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ. එම නිළධාරීන් දෙදෙනා විසින් ඉදිරිපත් කරනු ලබන අධිචෝදනා පත්‍ර මත ගොනු කරන නඩු විභාග කිරීමේ අධිකරණ බලය අපරාධ මහාධිකරණයට හිමි වේ. තවද, (ව්‍යාතිරේඛයන්ට යටත්ව) සමස්ත දිවයිනෙහිම අල්ලස් පනත හෝ දූෂණ විරෝධී පනත යටතේ රුපියල් 2,000කට වැඩි මුදල්මය වටිනාකමක් සම්බන්ධ වන වරදවල් විභාග කිරීමේ සුවිශේෂී අධිකරණ බලයද කොළඹ මහාධිකරණය සතු වේ. අල්ලස් හා දූෂණ සම්බන්ධ චෝදනාවලට අමතරව, බරපතළ හා දරුණු අපරාධ සම්බන්ධයෙන් අධිචෝදනා ඉදිරිපත් කර මහාධිකරණය ඉදිරියේ නඩු විභාග කරනු ලබයි. වර්තමානයේ කොළඹ අධිකරණ සංකීර්ණය තුළ මහාධිකරණ 11ක් ක්‍රියාත්මක වන අතර, එක් එක් මහාධිකරණයේ නඩු විභාග කරනු ලබන්නේ තනි විනිසුරුවරයෙකු විසිනි. අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත යටතේ පැවරෙන නඩු විශේෂයෙන් මහාධිකරණ අංක 06, 10 සහ 11 ඉදිරියේ විභාග කරනු ලබයි. කෙසේ වෙතත්, අගවිනිසුරුවරයා විසින් ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නඩු විභාගයක් පවත්වන ලෙස නියෝග කරනු ලබන අවස්ථාවකදී, එම නඩුව විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කරනු ලබයි. මහාධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගවලදී පැමිණිල්ල මෙහෙයවීම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. මීට අමතරව, පළාත්බද මහාධිකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණ මඟින් ලබා දෙන තීන්දු, දඬුවම් සහ නියෝග සම්බන්ධයෙන් මෙන්ම කම්කරු විනිශ්චය සභාව වැනි ඇතැම් විනිශ්චය සභා මඟින් ලබා දෙන තීන්දු හා නියෝග සම්බන්ධයෙන්ද අභියාචනාධිකරණ බලය සහ ප්‍රතිශෝධන බලය මෙන්ම ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පළාත්සභා යටතට වැටෙන විෂයන් සම්බන්ධයෙන් රිට් ආඥා ලබා දීමේ අධිකරණ බලයද ක්‍රියාත්මක කරනු ලබයි. වර්තමානයේ අභියාචනා, ප්‍රතිශෝධන සහ රිට් අයදුම්පත් කොළඹ මහාධිකරණ අංක 01 හි ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා විසින් විභාග කරනු ලබයි.

දිසා අධිකරණය

දිසා අධිකරණය විසින් විවාහ සම්බන්ධ කරුණු, දරුවන්ගේ භාරකාරත්වය, ණය අයකර ගැනීම, ඉඩම් සම්බන්ධ ආරවුල්, අපහාස නඩු, වාරණ නියෝග, දරුවන් දරුකමට ගැනීම සහ උප්පැන්න සහතික වැනි නීතිමය ලේඛනවල සටහන් සංශෝධනය කිරීම ඇතුළු පුළුල් පරාසයක සිවිල් ආරවුල් සම්බන්ධයෙන් අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබයි. වර්තමානයේ කොළඹ අධිකරණ සංකීර්ණය තුළ දිසා අධිකරණ 10ක් ක්‍රියාත්මක වන අතර, එක් එක් අධිකරණය තනි විනිසුරුවරයෙකු විසින් නඩු විභාග  කරනු ලබයි. අධිකරණ අංක 09 සහ 10 රුපියල් මිලියන 02කට අඩු වටිනාකමක් සහිත සුළු හිමිකම් නඩු විභාග කිරීම සඳහා වෙන් කර ඇත. අධිකරණ අංක 08 ණය අයකර ගැනීමේ නඩු විභාගයට සුදුසු තත්ත්වයට පත්වන තෙක් ඒවා කැඳවා පූර්ව නඩු විභාග කටයුතු සිදු කරන පූර්ව නඩු විභාග අධිකරණය ලෙස ක්‍රියාත්මක වේ. අධිකරණ අංක 07 දික්කසාද සහ දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙන් කර ඇත. විශේෂ නඩු සාමාන්‍යයෙන් අධිකරණ අංක 01 ඉදිරියේ කැඳවා විභාග කරනු ලබයි. වර්තමානයේ අධිකරණ අංක 04, 09 සහ 10 කොළඹ 07 ප්‍රදේශයේ ස්ථාන ගත කර ඇත.

මහේස්ත්‍රාත් අධිකරණ

මහේස්ත්‍රාත් අධිකරණය යනු අපරාධ අධිකරණ පද්ධතියේ පළමු අවස්ථා අධිකරණයයි. යම් වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන ඕනෑම සැකකරුවෙකු, ඉන් අනතුරුව විමර්ශන කටයුතු අධිකරණ අධීක්ෂණය යටතේ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා, ප්‍රථමයෙන්ම අදාළ අධිකරණ බල ප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. වර්තමානයේ කොළඹ අධිකරණ සංකීර්ණය තුළ මහේස්ත්‍රාත් අධිකරණ 09ක් ක්‍රියාත්මක වන අතර, මහේස්ත්‍රාත් අධිකරණ අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලෙසත්, අනෙකුත් අධිකරණ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ ලෙසත් හැඳින්වේ. කොළඹ අධිකරණ බල ප්‍රදේශයට අයත් පොලිස් ස්ථාන ගණනාවක් තමන්ට වෙන් කර ඇති දිනවලදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ වෙත විවිධ නඩු කටයුතු සම්බන්ධයෙන් කරුණු වාර්තා කරනු ලබයි. රටේ ඕනෑම ප්‍රදේශයකදී අල්ලස් හෝ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවෙකු ප්‍රථමයෙන්ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, රුපියල් 2,000කට අඩු වටිනාකමක් සම්බන්ධ අල්ලස් චෝදනා විභාග කිරීමේ සුවිශේෂී අධිකරණ බලය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සතු වේ. මහේස්ත්‍රාත් අධිකරණ අංක 07, රථවාහන වැරදි සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙන් වූ විශේෂ අධිකරණය ලෙස ක්‍රියාත්මක වේ.

කොළඹ අධිකරණ පරිශ්‍රයේ පිහිටි අනෙකුත් ආයතන

  1. අධිකරණ අමාත්‍යාංශය
  2. අධිකරණ සේවා කොමිෂන් සභාව
  3. ශ්‍රී ලංකා නීති විද්‍යාලය

How can we help you?

Get in touch with our chambers to arrange a consultation or to speak with us about your legal requirements